දැරණියගල ප්‍රාදේශීය සභාව වත ඔබ සාදරයෙන් පිළිගනිමු.!

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කිලෝමිටර් 217.6ක භූමි ප්‍රමාණයකින් හා ග්‍රාමසේවා නිලධාරී වසම් 26 කින් යුතු බල ප්‍රදේශයකි. මෙහි 46000 ක පමණ ජනගහනයක් ජීවත් වන අතර මහජන නියෝජිතයින් සංඛ්‍යාව 21  විසින් එහි නියේජනය සිදු කරනු ලබයි. මනරම් කදුශිකර හා දියඇලිවලින් සුසැදි මනනස්කාන්ත පරිසරය මෙන් ම ජෛව විවිධයත්වයෙන් අනූන වූ පාරිසරික පද්ධතිය ද ප්‍රදේශයට සෞන්දර්යාත්මක වටිනාකමක් එක් කොට ඇත. ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ඇදහැලෙන මෙම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපායන් වන්නේ තේ, රබර් හා සුළු අපනයන භෝග ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු ය. ව්‍යාපාරික වතු කෘෂිකාර්මික හැරුණු විට කාර්මික හා සේවා අංශයේ දායකත්වය ඉතාමත් පහළ අගයක් ගනී.

 

සංචාරක ආකර්ෂණීය ස්ථාන

නගරයේ ජිවත් වන
මුළු ජනගහනය
0 K
බල ප්‍රදේශය
වර්ග කිලෝමිටර්
0 K
මහජන නියෝජිතයින්
සංඛ්‍යාව
0
ග්‍රාමසේවා නිලධාරී
වසම්
0
  • මායිම්

වසම් 26 කින් සමන්විත දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කෑගල්ල දිස්ත්‍රික්කයේ ගිණිකොණ දෙසට පිහිටා ඇත. ඒ අනුව මෙම බල ප්‍රදේශයේ මායිම් ලෙස,

  • නැගෙනහිරින් නුවරඑළීය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද
  • බටහිරින් දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද
  • උතුරින් කැළණි ගඟ ද
  • දකුණින් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද

මායිම් වන ලෙස පිහිටා ඇත.

1.2    විශාලත්වය

          දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 26 කින් සමන්විත වන අතර මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 21345ක් පමණ වේ. එනම් වර්ග කිලෝමීටර් 213.45 කට ආසන්න වේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රාදේශීය සභා කොට්ඨාශ අතරින් වැඩිම භූමි ප්‍රමාණයක් අයත් වන්නේ දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටයි.

 

     1.3     භූ විෂමතාවය හා ජල වහනය

            ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වේ. උච්චත්වය අනුව මෙම කොට්ඨාශයේ ප්‍රධාන සමෝච්ච රේඛා කලාප 7ක් හඳුනා ගත හැකිය .එනම්,

  1. අඩි 1000 ට අඩු කලාපය
  2. අඩි 1000 – 2000 අතර කලාපය
  3. අඩි 2000 – 3000 අතර කලාපය
  4. අඩි 3000 – 4000 අතර කලාපය
  5. අඩි 4000 – 5000 අතර කලාපය
  6. අඩි 5000 – 6000 අතර කලාපය
  7. අඩි 6000 ට වැඩි කලාපය

ගිණිකොණ දිශානුගතව ඉහළ උන්නතාංශයක්  ඇති අඩි 6000 ට වැඩි කලාපය දක්නට ඇත. මාගල් ගඟ හා එහි අතු ගංගා ආශ්‍රිතව උන්නතාංශය  අඩු කලාපය හඳුනා ගත හැක. සෙසු කලාප කොටස් වශයෙන් උතුරු දකුණූ හා නැගෙනහිර දිශානුගතව දක්නට ලැබේ . මෙම කොට්ඨාශයේ උච්චතම ස්ථානය බල්ලහැල ගල (බල්ලාබැඳි ගල) වන අතර එහි උස මුහුදු මට්ටමේ සිට අඩි 6369 පමණ වේ.

කොට්ඨාශයේ ප්‍රධාන ස්වාභාවික ජල ප්‍රවාහය වන්නේ මාගල් ගඟය . මෙම මාගල් ගඟ ප්‍රදේශයේ මධ්‍යම නිම්නය දිගේ ගිණිකොණ වයඹ දිශානුගතව ගලා බසින අතර නාය ගඟ,කුඹුරු ඔය , මණ්ඩල් ඹය ,කදිරන් ඹය ,මියනවිට ඔය හා අරත්තන ඇල යන සෙසු ගංගා දෙපසින් එයට එකතු වේ . මාගල් ගඟ පෝෂණය කරන මෙම සෙසු ගංගා සීතාවක ගඟේ පෝෂක ප්‍රදේශ ලෙස හදුන්වා දිය හැකිය . මෙයට අමතරව කැළණි ගඟ ප්‍රදේශයේ උතුරු සීමාවෙන් ගලා බසී .ප්‍රදේශයේ ජල උල්පත් ඇති නිසා පානීය ජලය සපයා ගැනීම එතරම් අපහසු නොවේ.මෙම කොට්ඨාශයේ අරීයව විහිදෙන ජල වහන රටාවක් පවතී.

කෑගල්ල දිස්ත්‍රික්කයට පොදු වූ විපරීත පාෂාණ තලයකින් යුක්ත මෙම කොට්ඨාශයේ භූ ස්ථර තුනක් හඳුනා ගත හැකිය . එනම්,

  • විපරීත අවසාධිත නිධි
  • ග්‍රැනයිට් නයිස්
  • ක්වාට්සයිට්

වශයෙන් ඒවා හඳුනා ගත හැකිය . මෙම ව්‍යාප්තිය සැලකීමේ දී විපරීත අවසාධිත නිධි කොට්ඨාශයේ විසිරි ව්‍යාප්තියක් දකක්නට ඇත. ග්‍රැනයිට් නයිස් පාෂාණය බටහිර අර්ධයේ වැඩි වශයෙන් දක්නට ලැබේ. ක්වාට්සයිට් පාෂාණය නැගෙනහිර මෙන්ම ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශවල කොටස් වශයෙන් දැකිය හැකිය.

            ශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණය අනුව මෙම කොට්ඨාශයේ මූලික පස් වර්ගවල ව්‍යාප්තිය පහත සඳහන් ලෙස හඳුනාගත හැකිය.ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ප්‍රමුඛ පස් වර්ගයක් වන රතු කහ පොඩ්සොලික පස ( Red Yellow  Podsolic Soil ) දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රධාන පස් වර්ගය වේ. ඊට අමතරව රතු කහ පොඩිසොලික පසෙහි උප පස් ඛාන්ඩයක්  වන දැඩි වර්ණක සහිත රතු කහ පොඩ්සොලික පස ( RYP Soil with Strongly Mottled Sub Soil) ද ලිතසෝල් සහිත ගල්තලා (Lithosoil and Rockland)  ප්‍රදේශ ද ඇත.තේ  රබර් යන වගා සඳහා මෙම පස් කාණ්ඩයන් වඩා උචිත වේ . තව ද කඳුකර ප්‍රදේශවල හඳුනාගත හැකි  ලිතසෝලි සහිත ගල් තලා ප්‍රදේශ කෘෂි වගාවන් සඳහා ප්‍රයෝජනයට ගැනීම අපහසුය. එම නිසා කෘෂි කාර්මික නොවන කටයුතු සඳහා ස්ථානීය පර්යේෂණ වලින් පසුව භාවිත කිරීමේ හැකියාව ඇත.

1.4   වර්ෂාපතන රටාව හා දේශගුණය

            කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභා කොට්ඨාශ අතරින් වැඩි වර්ෂාපතනයක් ලැබෙන කොට්ඨාශයක් වශයෙන් දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හදුන්වා දිය හැකිය . ඒ අනුව මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය කලාප 4ක් යටතේ හඳුනාගෙන ඇත.

01.මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි. 4500ට අඩු කලාපය

  1. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි. 4500 -5000ට අඩු කලාපය
  2. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි. 5000 – 5500ට අඩු කලාපය
  3. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි. 5500ට වැඩි කලාපය

            මධය වාර්ෂික වර්ෂාපතනය වැඩි කලාප වශයෙන් මෙම ප්‍රාදේශීය සභා ගිණිකොණ දිශානුගත ප්‍රදේශ වන මාලිබොඩ හා දික්ඇල්ලකන්ද ප්‍රදේශ හඳුනා ගත හැකිය . මෙම කොට්ඨාශයට අයත් කාලගුණික මධ්‍යස්ථාන දෙකකි. ඒ අනුව

  • මාලිබොඩ කලාපය – මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි. 5281 ක් හා
  • දැරණියගල කලාපය – මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය  මි.මි. 4922 ක් වශයෙන් දැක්වේ .

වර්ෂාපතනයේ ඍතුමය ස්වරූපය සැලකීමේ දී දිස්ත්‍රික්කයේ උඩරට , මැදරට හා පහතරට තෙත් කලාපීය ලක්ෂණ ඇති කොට්ඨාශයක් වන බැවින් වර්ෂාපතනය වසර පුරා පැතිරුණු ස්වභාවය දක්නට ලැබේ.එබැවින් ජලය සීමාකාරී සාධකයක් වී නැත.

දැරණියගල ප්‍රාදේශීය සභා කොට්ඨාශය තුළ ප්‍රධාන කෘෂි පාරිසරික කලාප තුනක් හඳුනාගෙන ඇත. එනම්

1.තෙත් කලාපීය පහත රට 1 වර්ගය – (වාර්ෂික වර්ෂාපතනය මි.මී. 3500-5000 අතර වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 24කි. මේ ප්‍රදේශයට අයත් වන්නේ ප්‍රදේශයේ උතුරු මධ්‍යම හා මධ්‍යම ප්‍රදේශයන්ය)

  1. තෙත් කලාපීය මැද රට 1 වර්ගය – (වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2500-3000 අතර වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 24කි. මේ ප්‍රදේශයට අයත් වන්නේ බල්ලහැල වසමේ දකුණු අර්ධය , උඩබාගේ , කීරිහේන වසම්වල උතුරු අර්ධය,දොඩාවත්ත, පන්දාහ වසම්වල නැගෙනහිර අර්ධය හා මාලිබොඩ , මාගල , දික්ඇල්ලකන්ද වසම්වල බස්නාහිර ප්‍රදේශයන්ය)
  2. තෙත් කලාපීය උඩරට 1 වර්ගය – (වාර්ෂික වර්ෂාපතනය මි.මී. 4500-5000 අතර වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 24කි. මාලිබොඩ , මාගල , දික්ඇල්ලකන්ද වසම්වල ගිණිකොණ ප්‍රදේශයන් මෙයට අයත් වේ.)

වශයෙන් මෙම කෘෂි කලාප හඳුනාගෙන ඇත. එබැවින් කෘෂිකාර්මික වශයෙන් හිතකර දේශගුණික කලාපයක් වශයෙන් ද මෙම කොට්ඨාශය හඳුන්වා දිය හැකිය.

නිරිතදිග මෝසම, ඊසානදිග මෝසම , අන්තර් මෝසම යන වර්ෂාපතන කාලසීමාවන් තුනෙහිදීම  මෙම කොට්ඨාශයට වර්ෂාපතනය ලැබේ.

            මෙම කොට්ඨාශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20-25 ත් අතර වේ. උන්නතාංශය අනුව උෂ්නත්වයේ විචල්‍යයන් ඇති විය හැකි අතර උෂ්ණත්වය වර්ෂාපතනය මෙන් කෘෂි කර්මාන්තයේ දී සාධකයක් වි නොමැත.

1.5. භූගෝලීය පිහිටීම හා ඉඩම් පරිභෝජන රටාව

            කෑගල්ල දිස්ත්‍රික්කයේ දකුණු  අර්ධයට සීමා වී ඇති දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටීම සැලකීමේ දී  ශ්‍රී ලංකාවේ ග්‍රිඩ් සැලැස්ම අනුව උතුර දකුණු ඛණ්ඩාංක 180 – 200 Km හා නැගෙනහිර බටහිර ඛණ්ඩාංක 150 – 180 Km තුළ පිහිටා ඇත. එනම් උතුරු අක්ෂාංශ 6 0 50 ‘ සිට 7 0 0 ‘ දක්වාත් නැගෙනහිර දේශාංශ 80 0 15 ‘ සිට  80 0 35 ‘ තුළ පිහිටා ඇත.

            මහනුවර යුගයේ පැවති සමාජ සංවිධානය හා පරිපාලන ක්‍රමය තුන් කොරලය නම් දිසාවට පොදු වේ .දෙහිගම්පල , අටුළුගම හා පනාවල යන කොරල තුනේ එකතුවෙන් තුන් කෝරළය සකස් වී ඇත. මීට අයත් සෑම කොරළයක්ම කොටස් දෙකකට බෙදෙන අතර අටුළුගම කොරළය නැගෙනහිර හා බටහිර වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. අටළුගම් කෝරළයේ නැගෙනහිර නම් කොටසට දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙ අයත් වේ.

            මෙම කොට්ඨාශයේ ඉඩම් පරිභෝජන රටාව පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ දී  දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ‍ෙහෙක්ටයාර් 21341 වන මුළු භූමි ප්‍රමාණයෙන් ප්‍රධාන  වානිජ භෝග වන තේ, රබර්  වගාවන් සඳහා හෙක්ටයාර් 4617.2 ක් වෙන් වන අතර  ඉතිරි භූමිය   ගෙවතු , ගොඩනැගිලි සහිත බිම් , වනාන්තර , භාවිතා කර නොමැති බිම් සහ ජලතල සඳහා වෙන් වී ඇත. භූමි පරිභෝජනය රටාව  දෙස විමසීමේ දී වතු සමාගම් ඉඩම් සඳහා ද මෙම කොට්ඨාශයේ සැකියයුතු භූමි ප්‍රදේශයක් වෙන්ව ඇත. ස්වභාවික පිහිටීම අනුව කඳුකර ප්‍රදේශයක් වන මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද තුළ , භූමි පරිභෝජන රටාව ද  කඳුකර ප්‍රදේශයන්ට ආවේනික අයුරින් සකසාගෙන ඇත. මෙම ප්‍රදේශය ස්වභාව සෞන්දර්ය වශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ වැඩි අවධානයක් යොමු කර ගෙන ඇති අතර  ඒ සඳහා මෙම බල ප්‍රදේශය තවමත් යම් තරමකට හෝ ආරක්ෂා වී ඇති ස්වභාවිකව ඇති කැලෑ ,රක්ෂිත හා දිය ඇලි ඉතා වැදගත් වී ඇත. ජනගහන වර්ධනය හේතුවෙන් නිවාස , නව කර්මාන්ත ,මාර්ග , අනෙකුත් සංවර්ධන ව්‍යාපාති  ආදී හේතූන් මත බල ප්‍රදේශයේ භුමි පරිභෝජන රටාව ද ඉදිරියේ දී බොහෝ වෙනසකට ලක්වනු ඇතැයි සිතිය හැකිය.